අනාගතයට විලංගු දැමීමේ අනතුර

අනාගතයට විලංගු දැමීමේ අනතුර

උතුරු ආණ්ඩුකාර ධුරය හෙබවූ රෙජිනෝල්ඩ් කුරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා ලෙස  පත් කිරීමට යන බව මීට ටික දිනකට පෙර ප්‍රසිද්ධියට පත් විය. ඔහු එම තනතුරෙහි කටයුතු කරනු දැකීමේ අවස්ථාව කිසිවකුට නොලැබිණ. ඔහු නැවතත් උතුරු මුල් පුටුවටම පත් කර ඇත. සුපුරුදු සිනා වතින් යුතුව කිසිවකුට ආඩපාලි නොකියා ඔහු රාජකාරි නැවත අරඹා තිබේ. ඒ ඔහුගේ හැටිය. මේ අපේ රටේ හැටිය.

13 වැනි ව්‍යවස්ථාව අනුව පළාතේ මහ ඇමතිවරයාගේ කැමැත්ත ඇතිව ආණ්ඩුකාරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඊට බලපෑම් කිරීමේ හැකියාව ව්‍යවස්ථානුකුලව ඇති ජගතකු මෙදිව් තලයේ සිටිය නොහැක. බටහිර බලපෑම් අනුව මෙරට දේශපාලකයන් තීන්දු ගන්නවා යැයි චෝදනා කරන දේශප්‍රේමීන්ටද මෙහිදී කට උත්තර නැත. ඊට හේතුව  පළාත් ආණ්ඩුකාරයකු පත් කිරීම වැනි සිල්ලර මාතෘකා ඔවුනට අදාළ නැති හෙයිනි. හැබැයි මෙවැනි සිදුවීම් දිගින් දිගටම වන්නේ නම් එවිට ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යස්වථාව තඹේකට මායිම් නොකරන ප්‍රජාතන්ත්‍රවාදය මළගම් යවන රටක් හැටියට අසාදු ලේඛන (black list) ගතවීම වැළැක්විය නොහැක.

ආණ්ඩුකාරයා දකුණට කැඳවා යළි උතුරටම යැවීම පිටුපස ඇති හස්තය පිළිබඳ දරුණු විවේචන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. මෙහිදී මුව හමට තළන්නාක් මෙන් ඒවාට තඩි බෑමට ඉක්මන් නොවී  සදාචාරය සහ ශිෂ්ටත්වයට ගරුකරමින් කරුණු පැහැදිලි කිරීම චූදිත පාර්ශ්වයේ වගකීම විය යුතුය.

පෙනෙන්නට ඇති පරිදි උඩරට ප්‍රධාන පුරවැසියාගේ පත්වීමට එරෙහි තීන්දුවට බලපා ඇත්තේ කුල ප්‍රශ්නයකි. කෙළින්ම ඇඟිල්ල දිගු වී ඇත්තේ මල්වතු පාර්ශ්වයටය. මෙහි සත්‍යයක් ඇතැයි උපකල්පනය කළහොත්  එය බරපතළ ගැටලුවකි. මීට පෙර ජනාධිපතිවරයාගේද සහභාගිත්වයෙන් පත්තිරිප්පුවේදී  ද්‍රෝහීන්ගේ ලේඛනයෙන් විරුවන් නිදහස් කිරීම සඳහා පැවති රාජ්‍ය උත්සවයේදී සම අසුන් පැනවීමට එරෙහිව අස්ගිරි පාර්ශ්වය උත්සවය වර්ජනය කිරීම බොදුනු ජනතාවගේ සංවේගයට හේතු විය. මෙය ඊට නොදෙවැනි සිදුවීමකි. ඊට හේතුව රාජ්‍යත්වය ඉක්මවා යන බලයක් සංඝ පාර්ශ්වයට තිබේද යන සංවාදය නැවත වරක් මතු වීමය. වත්මනෙහි ලොව ශිෂ්ට සම්පන්න කිසිම රාජ්‍යයක් කුල භේදය පවත්වාගෙන යන්නේ නැත. කුල භේදය නොතැකු බුදුන්ගේ ශ්‍රාවකයන් අතර ද කුල භේදය පැවතීම යුක්ති සහගත නොවේ. එය රටේ ඉදිරි ගමනට ඉමහත් බාධාවකි. දරුණු කුල භේදයක් පවතින ඉන්දියාව පවා රාජ්‍ය පාලනයේ දී විශ්ව සම්මත මානව ධර්මතා අනුව කටයුතු කරයි.

අප දන්නා පරිදි මල්වතු පාර්ශ්වයේ සංඝනායක තිබ්බොටුවාවේ සුමංගල හිමියන් මෙතෙක් එම ධුරයට පත්වූ ඉදිරිගාමී දැක්මක් සහිත සංඝ පීතෘවරයාය.
මෑතකදී ජාතිවාදයට උඩ ගෙඩි දෙන ප්‍රකාශයක් ඩැහැ ගැනීම සඳහා උන්වහන්සේ හමුවට ගිය දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට සිදුවූයේ කිච වී ආපසු එන්නටය. එමෙන්ම රට නොබෙදා උපරිම බලය බෙදීමකට යා යුතු බව උන්වහන්සේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළහ.

උන්වහසේගේ ප්‍රකාශ කෙරෙහි ප්‍රබුද්ධ සමාජ තීරුවල ඇත්තේ ප්‍රසාදයකි. එසේ හෙයින් ආණ්ඩුකාරවරයාගේ පත්වීමට එරෙහිවීම පිළිබඳ සම්බන්ධයෙන් උන්වහන්සේ කරුණු පැහැදිලි කරනු ඇත යන්න අපගේ විශ්වාසයයි.

"උත්පත්‍තියෙන් බ්‍රාහ්මණයකු වන්නේ නැත. උත්පත්තියෙන් අබ්‍රාහ්මණයකු වන්නේද නැත. ක්‍රියාවෙන් බ්‍රාහ්මණයකු වන්නේය. අබ්‍රාහ්මණයකු වන්නේද ක්‍රියාවෙනි."
(වාසෙට්ඨ සූත්‍රය)-

මාතෘකා